Thu. Sep 19th, 2024

පවතින තත්ත්වය හමුවේ විදුලි බිල අඩු වේ යැයි විශ්වාස කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී.

එමෙන්ම නව විදුලි බල පනතේ වගන්ති කිහිපයක් අඩු නොකළහොත් විදුලි බිල තවත් වැඩි විය හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

මෙම පනත කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට පෙර ඒ සඳහා සාධනීය ලෙස අදහස් දැක්වීමට හා සාකච්ඡා කිරීමට වෘත්තිය සමිති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, විශ්වවිද්‍යාල ආචාර්යවරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විදුලිබල ක්ෂේත්‍රය සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනා විසින් විෂයභාර ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කළ ද ඒ සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බව එම සංගමයේ සභාපති ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ කියා සිටියි.

ඔහු මේ පිළිබඳව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය.

තම සංගමය විසින් අවස්ථා දෙකකදී විදුලිබල පනත සඳහා අදහස් ලබා දෙමින් ලිපි යොමු කර ඇති අතර එම අදහස් දැනට සකස් කරනු ලබන පනතේ ඇමුණුම් සඳහා පාදක කරගත් බව හෝ පාදක කරගන්නා බව දැනගැනීමට කිසිදු අයකුට මේ වනතුරු අවස්ථාවක් ලැබී නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම පනතෙන් විදුලිබිල අඩුවීම සම්බන්ධව හා විදුලි සුරක්ෂිතතාව පිළිබඳව සඳහන් නොවීම විශාල ගැටලුවක් බව ද එහිදී හෙතම කියා සිටියේය.

මේ අයුරින් සියලු පාර්ෂව විසින් පනතේ උන්නතිය සඳහා ලබා දුන් අදහස් හා යෝජනා ඉදිරි ඇමුණුම සෑදීමේදීද කුණු බාල්දියට යවමින් කටයුතු කළහොත් එය කැබිනට් අනුමැතිය ලබාගත්ත ද පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්ත ද පනතේ සඳහන් කරුණු මහපොළොව මත ක්‍රියාත්මක කිරීමේදී පාරිභෝගිකයා, විදුලිබල සේවකයා හා රටේ ආර්ථිකය වලපල්ලට ඇද දැමීමට කටයුතු කරනු ඇතැයි සාධාරණ බියක් ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *