Sat. Jul 27th, 2024

ලිස්සා වැටීමකින් මියගියේ යැයි අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතන බලධාරීන් කී මරණයක් ගැන කළ මරණ පරීක්ෂණයේදී මරණකරුගේ සිරුරේ කැපුම් හා තැළීම් තිබූ බව හෙළිවී තිබෙනවා.

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පසුගිය 20 වනදා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් කළ මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

මරණය සැක සහිත බව ත් සිය ඥාති පුත්‍රයා එම රෝහලේ සුළු සේවකයන් පිරිසක් කරන ලද පහර දීමකින් මියගිය බව ත් මරණකරුගේ ඥාතීන් පැමිණිලි කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 45 හැවිරිදි ඔස්වී නානායක්කාර නමැත්තෙක්.

පාදුක්ක, වටරැක, සමනල තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා වසර කිහිපයක සිට මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නා බව ත් පසුගිය 20 වන දා රෝහල්ගත කළ ඔහු 25 වන දා මියගිය බවට රෝහල තමන්ට දැනුම් දුන් බව ත් ඥාතීහු පැවසූවා.

සිරුරේ තිබුණු සැක සහිත සලකුණු හා ලේ පැල්ලම් හේතුවෙන් මරණය සම්බන්ධයෙන් සැකයක් මතු වූ බව ත් ඒ අනුව පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට අනුව මෙය අනාවරණය වූ බව ත් මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් සඳහන් කළා.

ඒ අනුව, සිදුකරන ලද මරණ පරීක්ෂණයෙන් මරණය සිදුව ඇත්තේ පහරදීම් සහ ලේ ගැලීම් හේතුවෙන් බවත් පපුව ඉදිරි පස ද විශාල කැපුම් පාරක් හා පහරදීම් හේතුවෙන් තැළීම් සලකුණු 35ක් තිබෙන බව ත් හෙතෙම සඳහන් කළා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලද පොලිසියට ලැබුණු සී.සී.ටි.වී. දර්ශනවලට අනුව පුද්ගලයන් කිහිප දෙනෙකු පහර දෙන දර්ශන තිබෙනවා යැයි පොලිසිය සඳහන් කළ බව ද ඔහු කියා සිටියා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *