අභ්‍යාස පොත් මිල 10%කින් ඉහළට.

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ.

ඉන්ධන මිලද ඉහළ යාම මත සමාගම් පවත්වා ගැනීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සමාගම් කිහිපයක නියෝජිතයෝ පැවසූහ. සිය නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීමේ ක්‍රියාවලියක් පවතින හෙයින් ඉන්ධන මිල වැඩි වීම ඒ කෙරෙහි බරපතළ ලෙස බලපාන බව ද පවතින තත්ත්වය මත මිල වැඩි කිරීමකින් තොරව සමාගම් පවත්වාගෙන යා හැකි වන්නේ අලාභ ලබමින් යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.

නව වසර සඳහා රජයේ පාසල්වල පළමු පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස මැද දී වුවත් උත්සව සමයේ දී පාසල් පොත් ඇතුළු උපකරණ මිලදී ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව ඇති වන ඉල්ලුම සපුරාලීම සඳහා නිෂ්පාදන සමාගම් දැන් සිටම සූදානම් වෙමින් සිටියි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් අභ්‍යාස පොත් මුද්‍රණය කර අඩු මිලට ලබාදීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම වසර මුල දී ගත් උත්සාහය එතරම් සාර්ථක නොවිණි. ඇති වන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට මුද්‍රණ නීතිගත සංස්ථාවට නොහැකි වීම ඊට හේතු විය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *