Sat. Jul 27th, 2024

අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි අයුරින් තිබූ වීසා නීතිවල හිඩැසක් වහාම වසා දමන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

සිය උසස් අධ්‍යාපන පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් හට ඔවුන්ගේ මූලික අධ්‍යයන කටයුතුවලට අමතරව සමගාමී අධ්‍යයන පාඨමාලා ලෙසින් වෙනත් ලාභදායී කෙටි පාඨමාලා (concurrent study) හැදෑරීමේ අවස්ථාව මෙතෙක් හිමිව තිබුණා.

අදාළ කෙටි පාඨමාලා විදෙස් සිසුන් එරට රැකියා වෙළෙඳපොළ වෙත සූදානම් කෙරෙන අයුරින් සකසා තිබෙන ඒවා බවයි සදහන් වන්නේ.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ, මෙලෙස පැමිණෙන බොහෝ විදෙස් සිසුන් මෙම නීතිය අවභාවිත කරමින් තම මූලික විශ්වවිද්‍යාල පාඨමාලා අත්හැර දමා ඉහත කී ආකාරයේ ලාභදායී පාඨමාලා වෙත ස්ථිර වශයෙන් මාරුවන ප්‍රවණතාවයක් මෑත කාලීන විමර්ශනවලින් හඳුනාගෙන තිබෙනවා.

2019 සහ 2022 අතර කාලපරිච්ඡේදයන් හි මුල් භාගයන් තුළ මෙලෙස පෙර කී ලාභදායී කෙටි පාඨමාලා සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් සංඛ්‍යාව 10,500 ක් වන අතර එය 2023 මුල් භාගයේ දී 17,000 ක් දක්වා තියුණු ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එරට අධ්‍යාපන අමාත්‍ය Jason Clare පවසන්නේ, අදාළ නීති හිඩැස පූරණය මගින් සිසුන්, සිය පළමු අධ්‍යාපන ප්‍රතිපාදකයා වෙතින් අනිවාර්යය මාස 06ක සේවාවක් ලබා ගැනීමට පෙර දෙවන ලාභදායී අධ්‍යාපන ප්‍රතිපාදකයා වෙත යොමු වීම වළක්වනු ලබන බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *