Sat. Jul 27th, 2024

2023 අගෝස්තු 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි යළිත් වරක් ජල ගාස්තුව ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගත්තේය. 2022 සැප්තැම්බරයේ ජල ගාස්තුව ඉහළ දමමින් ජල සම්පාදන මණ්ඩලය කියා සිටියේ විදුලිය ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 400ක අතිරේක පිරිවැයක් දරන්නට සිදුව ඇති අතර, ජලය පිරිසුදු කරන රසායනික ද්‍රව්‍ය මිල ඉහළ යෑමද පිරිවැය ඉහළ යෑමට බලපා ඇති හෙයින් ඒවා පියවා ගැනීම සඳහා ජල ගාස්තුව වැඩි කළ බවටය.
2023 පෙබරවාරියේ විදුලි ගාස්තුව දෙවැනි වරටත් ඉහළ යෑම නිසා ජල සම්පාදන ක්‍රියාවලිය සඳහා වන පිරිවැය 65%කින් පමණ ඉහළ ගොස් තිබේ. එහෙයින් අගෝස්තු 1දා සිට වතු නිවාසවල සහ සමෘද්ධි ලාභීන්ගේ ජල ගාස්තුව හැර අනෙකුත් පාරිභෝගියන්ගේ ජල ගාස්තු 30%ත් 50%ත් අතර අගයකින් ඉහළ දැමූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පද්මනාත මහතා සඳහන් කරයි. එහෙත් ජනතාව පෙන්වා දෙන්නේ තම ජලබිල 50%කින් නොව දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවටය.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2022 සැප්තැම්බරයේ පළමු ඒකක 05 සඳහා ඒකකයකට අය කළ රුපියල් 12ක පරිහරණ ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දැමීය. ඒකක 6 සිට 10 දක්වා ඒකකයකට පැවැති රුපියල් 16 ගාස්තුව රුපියල් 27ක් දක්වාද, ඒකක 11 සිට 15 දක්වා පැවති රුපියල් 20 ගාස්තුව ඒකකයකට රුපියල් 34ක් දක්වාද, ඒකක 16 සිට 20 දක්වා ඒකකයකට රුපියල් 40 ගාස්තුව රුපියල් 68ක් දක්වාද, 21සිට 25 දක්වා රුපියල් 58 ගාස්තුව රුපියල් 99 දක්වාද, ඉහළ දැමූ අතර රුපියල් 50ක්ව පැවැති අවම සේවා ගාස්තුව ඒකක 25 දක්වා රුපියල් 300ක් ලෙසද, ඒකක 26 සිට 30 දක්වා රුපියල් 200ක්ව පැවැති සේවා ගාස්තුව හා ඒකක 31 සිට40 දක්වා රුපියල් 400ක්ව පැවැති සේවා ගාස්තුව රුපියල් 900 දක්වාද ඉහළ ගියේය.

පාරිභෝගිකයන්ට ලබා දෙන ජලය ලීටර 1000ක් ජල ඒකකයක් ලෙස සැලකේ. ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයට ජල ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන වියදම රුපියල් 50ක් පමණ වන බව මණ්ඩලය සඳහන් කරයි. ජල සම්පත් මණ්ඩලයේ පාරිභෝගිකයන් මිලියන තුනකින් මිලියන 2.6ක් හෙවත් 92%ක් ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ය. ජල සම්පාදන මණ්ඩලයේ ගණනය කිරීම්වලට අනුව සාමාන්‍ය පවුලකට දිනකට ජලය ලීටර 500ක් පමණ අවශ්‍ය වේ. ඒ අනුව මසකට ජල ඒකක 15ක් පමණ පරිභෝජනය කරන සංඛ්‍යාව 62%කි. පසුගිය සැප්තැම්බරයේ ජල ගාස්තුව ඉහළ නැංවීමට පෙර ජල හා සේවා ගාස්තුවද ඇතුළත්ව ඔවුන් මසකට ගෙවනු ලැබුයේ රුපියල් 310කි. ජල බිල වැඩි වීමත් සමඟ ජල ඒකක 15ක් භාවිත කරන පවුලකට ගෙවීමට සිදුවූ මුළු ගාස්තුව රු.705ක් දක්වා ඉහළ ගියේය. පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ මෙම වැඩි වීම සිදුකළ අතර එවර ගෘහස්ථ පාරිභෝගිකයන්ට 70%ක පමණ වැඩිවීමක් සිදු විය.

2022 සැප්තැම්බරයේ ජල ගාස්තුව වැඩි කළ අවස්ථාවේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (වාණිජ) පියල් පද්මනාත මහතා සඳහන් කළේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය 2012 සිට ගෘහස්ථ පාරිභෝගිකයකුගෙන් ජල ලීටරක් සඳහා අයකළේ සතයක් වැනි ගාස්තුවක් බවයි. නව සංශෝධනය යටතේ වැඩි වූයේ තවත් සතයකින් බවත් ඒ අනුව නව ගාස්තු අනුව ලීටරයකට අය කරනුයේ සත දෙකක් පමණක් බවද ඔහු සඳහන් කළේය. කෙසේ වුවද එම වැඩි කිරීම වසරක් යන්නටත් පෙර මදියැයි කියන්නට ජලසම්පාදන මණ්ඩලයට සිදු වී තිබේ.

ජලය ලීටරයක් නිෂ්පාදනය සඳහා ජල සම්පාදන මණ්ඩලයට ශත 7ක් වැය වුවද ජල ලීටරයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ ශත 2කට හෙයින් ලීටරයකින් ශත 5ක අලාබයක් දරන්නට මණ්ඩලයට සිදුවන්නේ යැයි දේශයට ප්‍රකාශ කළ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ නිසා අගෝස්තු මාසයේ සිට ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව සඳහන් කළේය.

2023 අගෝස්තු 1 දා සිට ගෘහස්ථ ජල ගාස්තුව කාණ්ඩ 9 යටතේ ඉහළ ගියේය. ඒකක 0 සිට 05 දක්වා රුපියල් 20ක්ව පැවැති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව රුපියල් 60 දක්වාද, (රුපියල් 300ක්ව පැවැති මාසික සේවා ගාස්තුව වැඩි වූයේ නැත.) ඒකක 06 සිට 10 දක්වා රුපියල් 27ක්ව පැවැති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව 80 දක්වාද, ඒකක 11 සිට 15 දක්වා රුපියල් 34ක්ව පැවැති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව රුපියල් 100 දක්වාද, ඒකක 16 සිට 20 දක්වා රුපියල් 68ක්ව පැවැති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව රුපියල් 110 දක්වාද, (රුපියල් 300ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 400 දක්වා වැඩි විය.) ඒකක 21 සිට 25 දක්වා රුපියල් 99ක්ව පැවැති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව රුපියල් 130 දක්වාද (රුපියල් 300ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 500 දක්වා වැඩි විය.) ඉහළ දැමිණි. 2022 සැප්තැම්බර් 1 සිට ජල ගාස්තුව 70%කින් පමණ ඉහළ දැමූ ජාතික ජල සම්පාදන මණ්ඩලය මෙවර ඒකක 15ක් හෝ ඊට අඩුවෙන් ජලය පරිහරණය කරන පාරිභෝගිකයකුට 106% පමණ ගාස්තු වැඩිකිරීමක් සිදු කර තිබේ. ඒ අනුව කලින් රුපියල් 812ක් ගෙවූ එම කාණ්ඩයේ පාරිභෝගිකයකුට නව සංශෝධනය යටතේ ගෙවීමට සිදුවන මුදල රුපියල් 1700ක් පමණ වේ. ඒකක 5ක් භාවිත කරන පාරිභෝගිකයකුගේ ජල ගාස්තුව 50%කින් ඉහළ ගොස් ඇති අතර ඒකක 05හේ සිට 10 දක්වා පරිභෝජනය කරන පිරිසගේ ජල ගාස්තුව 86%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අඩුවෙන්ම භාවිත කරන පාරිභෝගියන්ගේ ජල ගාස්තුව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

ගැසට් පත්‍රය අනුව ජල බිල වැඩි වූයේ අගෝස්තු මස 1 දාසිටය. එහෙත් ජුලි මාසයේ බිල සකස් කර තිබුණේ වැඩි කළ අගය යටතේ යැයි ජල පාරිභෝගිකයෝ පවසති. දැඩි ආර්ථික අසීරුතා මැද දිවි ගෙවන ජනතාවට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල, විදුලි බිල ඉහළ දමමින් ඇති කළ පීඩනය ජල බිලද වැඩි කිරීමෙන් තව දුරටත් ඉහළ ගොස් තිබේ.

ජනතාව ප්‍රකාශ කරනුයේ ජල බිල 106%කින් නොව 10%කින් වැඩි කළද එය තමන්ට දැරිය නොහැකි බවයි. තමන් උපයන සියලු ආදායම බිල් ගෙවන්නට වැයවන හෙයින් තමන්ට හා දරුවන්ට ප්‍රමාණවත් අහාර වේලක් ලබා ගැනීමට නම් පැය 24ම කිසියම් වෘත්තියක නියැලිය යුතු යැයි ඔවුහු කියති. ”මිනිස්සුන්ට පිරිසිදුවට ඉන්න ටිකත් නැති කරලා. පහුගිය කාලේ අපි නොකා නොබී හිටියත් වතුර ටිකක් හරි බීල බඩ පුරව ගත්තා. දැන් ඒකත් නැති කරලා”යැයි එක් පාරිභෝගිකයෙක් පැවසීය. තමන්ගේ මූලික අවශ්‍යතා සඳහා හෝ ජලය භාවිත කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පෙන්වා දෙන ජනතාව පෙර මෙන් දිනපතා ස්නානය කිරීම, රෙදි සේදීම සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය භවිත කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ප්‍රකාශ කරයි. ඇතැමුන්ට ජල බිල්පත් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ජලය විසන්ධි කර ඇත. ඇතැමුන්ට ජල හා විදුලි බිල්පත් ගෙවීමට තම කණකර උගස් කිරීමට සිදුව තිබේ. ඇතැමෙක් බිල් ගෙවන්නේ මුදල් පොලියට ගෙනය. ආණ්ඩුව තමන් සිටින ප්‍රපාතයෙන් තවත් පහළට ඇද දමමින් සිටින්නේ යැයි ජනතාව මැසිවිලි නඟති.

ලොව සෑම රටකම සේවා සඳහා ගාස්තු වැඩි කරන්නේ එහි ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය වැඩිකිරීමෙන් පසුව වුවද ලංකාවේ එවැන්නක් සිදු නොවන්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරුකීමේ ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතාන මහතා සඳහන් කරයි. ”රජය මිල වැඩි කරන්නේ ඔවුන්ට පාලනය කළ හැකි සාධකවලයි. ජල සම්පාදන මණ්ඩලය ගාස්තුව ඉහළ දමා තිබෙන්නේ තමන් ලබා දෙන සේවාවේ ප්‍රමිතිය දසමයකින් හෝ වැඩි කිරීමකින් තොරවයි. අද මේ රටේ ජනතාවට එක වේලක් කාල, එක පාරක් මුහුණ සෝදලා ඉන්න වෙන තත්ත්වයකට පත් කරල තියෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

දැඩි ආර්ථික අපහසුතා මැද එදා වේල අසීරුවෙන් සරිකරගන්නා ජනතාවගේ ජල බිල මෙලෙස ඉහළ දැමුවද රට කරවන මැති ඇමැතිවරුන් තම ජල බිල ගෙවීම පැහැර හැර ඇති බව ජලසම්පාදන මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරයි. වාර්තා වන අන්දමට එලෙස ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 62ක් බවද වාර්තා විය. මෙම මන්ත්‍රිවරුන්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික බවද පැවසේ.
ජල සම්පාදන මණ්ඩලය ජල ගාස්තු වැඩි කළේ තමන් ලබන අලාබය පියවා ගැනීම සඳහා යැයි ප්‍රකාශ කරයි. එහෙත් එම අලාබයට වගකිව යුත්තේ සාමාන්‍ය ජනතාව නොවේ. ජනතාව කෙසේ හෝ තම බිල්පත් ගෙවූ අතර ජල සම්පාදන මණ්ඩලයට පාඩු ලබන්නට සිදුව ඇත්තේ නිසි කළමනාකරණයක් නොමැති වීම, වංචා, දූෂණ හා දේශපාලනඥයන් බිල් ගෙවීම පැහැර හැරීම නිසා යැයි ජනතාව චෝදනා කරයි. ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ගාස්තු වැඩි කර එම ආයතනය ලාබ ලබන ආයතනයක් බව පෙන්වා පෞද්ගලික අංශයට විකුණා දැමීමට යැයි ඔවුහු කියා සිටිති.

ජල ගාස්තු වැඩි කිරීම ඉදිරියේදී නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවලටද බලපානු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාප අාෙයා්ජකයන්ෙග් සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට ප්‍රකාශ කළේය. ”වෙළෙඳ කලාපය තුළ ජල සැපයුම සිදුකරන්නේ ආයෝජන මණ්ඩලයට අයත් ආයතනයක් මගින්. අපි ජලගාස්තු ගෙවන්නේ එම ආයතනයටයි. කර්මාන්ත සඳහා වන ජල ගාස්තුව සාමාන්‍ය ගෘහස්ථ ජල ගාස්තුවට වඩා අඩුයි. ආයෝජන මණ්ඩලයේ ජලය සපයන ආයතනය ජලය ලබා ගන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන්. විශාල වශයෙන් ජලය ලබා ගන්නා විට (Bulk Supply) ඒ සඳහා අයකරන ගාස්තු ක්‍රමයක් තිබෙනවා. තවම අපිට වැඩි වූ ජල බිලක් ලැබී නැහැ. ජල ගාස්තුව වැඩි කිරීමත් සමඟ ජල සම්පාදන මණ්ඩලය ඔවුන්ගෙන් අයකරන ගාස්තුවද අනිවාර්යෙන්ම වැඩි කරාවි. එවිට එම ආයතනය අපෙන් වැඩි බිලක් අය කරාවි. එය කොපමණ ප්‍රමාණයකින්ද යන්න තවම පැවසිය නොහැකියි. කෙසේ නමුත් විදුලි බිල වැඩි කළ අවස්ථාවේ අපගේ පිරිවැය ඉහළ ගිය ආකාරයට යළිත් අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමට ජල බිලද බලපානවා. මගේ ආයතනයේ සේවක සේවිකාවන් 400ක් සේවය කරනවා. දැනට මට මාසෙකට ලක්ෂ 4ක ජල බිලක් ලැබෙනවා. ඉදිරියේදී එය තවත් ඉහළ යාවි.” යනුවෙන් සඳහන් කළේය.

ජල ගාස්තු ඉහළ නැංවීමත් සමඟ සියලු ආහාර පානවල මිලද ඉහළ යනු ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි. එහි සභාපති අසේල සම්පත් ඒ සම්බන්ධයෙන් මෙලෙස සඳහන් කළේය. ”ජල ගාස්තුව වැඩි කිරීමෙන් ආපන ශාලාවල බොන්න දෙන වතුර එකේ සිට පිඟන් සේදීමට වැය වන ජල ප්‍රමාණය දක්වා වන අලාබය ආපන ශාලා හිමියන් මත පැටවෙනවා. මෙහෙම ගියොත් ආපන ශාලාවට එන පුද්ගලයන්ට වැසිකිළි භාවිතය පවා තහනම් වේවි. මේ වැඩි කරන ක්‍රමය අපට හිතාගන්න බැහැ.” යනුවෙන් සඳහන් කළේය.

ජල පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ ජල බිල වැඩිවීම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ කියාය. බස්ගාස්තු, විදුලිය ගාස්තු, ආහාර මිල, භූමිතෙල් හා අනෙකුත් ඉන්ධන මිල අහස උසට ඉහළ ගොස් ඇති අවස්ථාවක විශේෂයෙන් නාගරික ජනතාව තව දුරටත් අගාධයට හෙලන්නට ජල ගාස්තු වැඩිවීම බලපාන බව ඔවුහු පෙන්වා දෙති. තමන් ආණ්ඩුවෙන් අපේක්ෂා කළේ කිසියම් සහනයක් වුවද ආණ්ඩුව ජනතාව තව දුරටත් පීඩාවට පත් කරමින් සිටින්නේ යැයි ඔවුහු පවසති.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *