Sat. Jul 27th, 2024

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නකින් එහි සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි.

ගින්නත් සමඟ හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3ක සිසුන් 60කට අධික පිරිසක් රෝගී වී රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණි.

කඳාන දැවතොටුපල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක අද උදෑසන 7.30ට පමණ ගින්න හටගෙන තිබුණි.

ගින්න හටගන්නා අවස්ථාවේ එක් පුද්ගලයෙක් පමණක් කර්මාන්ත ශාලාවේ සිට ඇති අතර ගින්නට හසුවීමෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස මියගොස් ඇත්තේ එම කර්මාන්තශාලාවේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.

වැලිසර නාවික හමුදා නිලධාරීන්, මීගමුව සහ ගම්පහ ගිනිනිවීමේ ඒකකවල නිලධාරීන් ගින්න මැඩ පැවැත්වීම සඳහා පැය 2කට අධික කාලයක් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණි.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ගින්නෙන් එම ගබඩාව මුළුමනින්ම විනාශ වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

මේ අතර කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නෙන් පසු එහි දුම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ අතර කර්මාන්ත ශාලාවට නුදුරින් පිහිටි පාසල් 3කටද දුම ව්‍යාප්ත වී තිබුණි.

ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් ප්‍රාථමික බාලිකා විද්‍යාලයේ හා ශාන්ත සෙබස්තියන් පිරිමි ප්‍රාථමික අංශයයේ සිසුන් 60කට අධික පිරිසක් දුම ආඝ්‍රාණය වීමෙන් ස්වසන අපහසුතා ඇති වී රාගම රෝහල වෙත ඇතුළත් කෙරුණි.

ජාඇළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් සිසුන් රෝහල්ගත කිරීම සඳහා සහාය දැක්වා තිබේ.

අනෙක් සියලු සිසුන් මව්පියන් වෙත භාරදීමට පාසල් කාර්යමණ්ඩලය පියවර ගත්තේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *