Sat. Jul 27th, 2024

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය.

අද (30) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“මිනිස්සු කම්පනයට පත්කළ පුවතක් මේ දරුවන් 13 දෙනෙකු මැලේසියාවට ගිහිල්ලා එහිදී වෙනත් රටවලට විකුණනවා කියන ප්‍රවෘත්තිය. මම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කෙන්ට්‍රෝල් ජනරාල්ට කතා කළා. ඔවුන්ගෙන් ඇහුවා 16ට අඩු අයට රට යන්න ඉඩ දුන්නේ කියලා. දැන් තියෙන නීතිය අනුව දරුවන්ට වෙනම පාස්පෝට් හදන්න පුළුවන්. පස්සේ ආරංචි වුණා මැලේසියාවේදී හොර පාස්පෝට් හදලා මැලේසියානු පාස්පෝට් හදලා ගෙනිච්චා කියලා. කථානායකතුමනි, ඒක කරන්න බෑ. මැලේසියාවේ ඉඳලා ලංකාවට ආවා නම් ඒ ආපු එක පාස්පෝට් එකේ සඳහන් වෙන්න ඕනේ. මේක අතිශය වැදගත් දෙයක්. මේකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුයි. ඒ වගේම පරීක්ෂණ කිහිපයක් පවත්වාගෙන යනවා. අපි දන්නේ නෑ ළමුන් කීයක් ද කියලා. ඒ නිසා මේක මුලින්ම නවත්වා ගත යුතුයි.”

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පසුගියා පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ, මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

ඒ එම කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මතය.

සිදුකරන ලද විමර්ශනයේ දී උතුරු – නැගෙනහිර ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ට අඩු දෙමළ ජාතික ළමුන් මැලේසියාව වෙත යවන බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

මෙරටින් මැලේසියාවට යාම සඳහා මෙම ළමුන් නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරන බවත්, මැලේසියාවේදී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය, බ්‍රිතාන්‍ය යන රටවල් වෙත යොමු කරන බවත් අනාවරණය වී තිබේ.

මෙවැනි ආකාරයට මේ වනවිට මෙරටින් ළමුන් 13 දෙනෙකු පමණ මැලේසියාවට පිටත්කර ඇති බවත් අතරමැදි ජාවාරම්කරුවෙකු සම්බන්ධ වී සිටින බව ද තොරතුරු අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *