Sat. Jul 27th, 2024

“අම්මේ, මම විද්‍යාපීඨයට යන දවසට නම් අඬන්න එපා, එතකොට මට යන්න හිතෙන එකක් නෑ. ඔයා තනි කරලා. ඒත් මං ගුරුවරියක් වෙලා අම්මාගේ බලාපොරොත්තු ඉටු කරන්නම්.” යැයි පවසා නින්දට ගිය තරුණියක් නිදි යහනේම අවසන් ගමන් ගිය ශෝක ජනක පුවතක් වාර්තා වුයේ තලාතුඔය, උඩුවෙල, මොනරංගල ගම්මානයෙනි.

එසේ මියගොස් ඇත්තේ, මොනරංගල පදිංචි වයස අවුරුදු 22ක තරුණියක වූ ඇය රත්නායක මුදියන්සේලාගේ සඳුනි හංසමාලි බණ්ඩාර නමැති අයයි.

වරින් වර සෙම් රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තද ඇයට වෙනත් කිසිදු රෝගාබාධයක් තිබී නැත.

සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ ගතකර ඇත්තේ, මෙම දියණිය සහ මව පමණි. පිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටතට ගොස් තිබුණි.

“21 වැනිදා උදේ 5ට විතර මම දුව නිදා සිටි කාමරයට වෙනදා වගේම ගියා. හැබැයි මට පොඩි සැකයක් ආවා. එයා නිදාගන්න ගිය විදියටම ඉඳපු නිසා. පස්සේ මම පොඩ්ඩක් සැලකිල්ලෙන් බලද්දි කිසිම හැලහොල්මනක් නෑ. මම කතා කළා දුවට. එයා ප්‍රතිචාර දැක්වුවේම නෑ. පස්සේ මම අල්ලපු ගෙවල්වල අයට කතා කරලා දුවව මොනරංගල ඉස්පිරිතාලෙට අරන් ගිහින් ඇතුළත් කළා.” යැයි මියගිය සිසුවියගේ මව කියා සිටියාය.

එම දැරිය රෝහල්ගත කරනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණි.

පස්දුන් රට විද්‍යාපීඨයට ඇතුළුවීමට නියමිතව සිටියේ මිය ගිය දිනට දෙදිනකට පසුව බවත් ඒ සඳහා ඇඳුම් පැලඳුම් ද සුදානම් කර සිහින මවමින් සිටි බවත් ඇයගේ ඥාතීහූ පවසති.

මහනුවර ස්වර්ණමාලී බාලිකාවේ ආදි සිසුවියක් වන ඇය දින කිහිපයකට පෙර සිය නැදෑයන්ට හා මිතුරු මිතුරියන්ටත් තමන් විද්‍යාපීඨයට ඇතුළත් වන බව පවසා ඔවුන් සමග තම සතුට බෙදාගෙන තිබුණි.

මෙම සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රෝහලේ දී සිදුකර ඇති අතර එහිදී මිය යෑමට හේතුව මොළයේ රුධිර කැටියක් සිරවීම බව අධිකරණ වෛද්‍යවරයා තීරණය කර ඇත.

තලාතුඔය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතිලක ඇතුළු නිලධාරීහු මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙය වූහ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *