Sat. Jul 27th, 2024

විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරචෝලේ පොලීසිය පවසනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙක්.

ඊයේ (18) දහවල් මෙම පහරදීම සිදුව ඇති අතර, පහර කෑමට ලක් වූ සේවකයා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සේවකයා සහ තවත් සේවකයෙකු විදුලි බිල නිසි පරිදි නොගෙවා ඇති නොරචෝලේ – සේතාපොල ප්‍රදේශයේ නිවසක විදුලිය සම්බන්ධතාවය විසන්ධි කිරීම සදහා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් නිවසේ විදුලිය සම්බන්ධතාවය විසන්ධි කර ආපසු යාමට සූදානම් වන අවස්ථාවේ දී නිවස හිමි කාන්තාවගේ පුත්‍රයා බව කියන අයෙකු විසින් පහරදීම සිදුකර පළා ගොස් තිබෙනවා.

පහර කෑමට ලක් වූ විදුලි සේවකයා පොලිස් ස්ථානයට කැදවා ගෙන විත් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු, ප්‍රතිකාර සඳහා රෝහල වෙත පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් සේවකයාගේ පාදවලට තුවාල සිදුව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *