Sat. Jul 27th, 2024

වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදෙස්ගත වීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් ඊට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, ගතවූ වසර දෙක ඇතුළත වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවට වාර්තා පළ වන පසුබිමකයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ, තවත් වෛද්‍යවරුන් 5000ත් 6000ත් අතර පිරිසක් රට හැරදා යෑමේ සුදානමක් ඇති අතර හෙද නිලධාරීන් රැසක්ද රට හැර යාමේ සූදානමක් පවතින බවයි.

වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාම මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව නීත්‍යානුකූල නොවන අයුරින් රට හැරයන වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සත්කාරක සේවා පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් රෝහල් රැසක සී.ටී. ස්කෑන්, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ කටයුතු කිහිපයක් නැවතීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

මෙවන් පසුබිමක වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදේශ ගතවීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිවාඩු අවශ්‍යතාව, ඉල්ලුම් කරන කාලසීමාව සහ අදාළ වෛද්‍යවරයා වෙනුවෙන් ආදේශක වෛද්‍යවරයෙකු සිටීද යන්න කරුණු මෛහිදී විශේෂයෙන් සලකා බැලෙනු ඇති.

රට තුළ ඇතැම් ක්ෂේත්‍රවල වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ තිබෙනවා.

සේවා අවශ්‍යතාව සලකා වෛද්‍යවරුන් විදේශගත වීමේදී වෛද්‍යවරුන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තීරණය කරනු ඇති.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරු රටින් පිටවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසනවා.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

එහි නව සභාපතිවරයා වශයෙන් වෛද්‍ය අජිත් මෙන්ඩිස්, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

වෛද්‍ය අජිත් මෙන්ඩිස් මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තනතුරු රැසක් හොබවා තිබෙනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *