Sun. Sep 8th, 2024

ලක්ෂපාන පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලිය සම්ප්‍රේෂණය සිදුකෙරෙන මාර්ගයේ පෞද්ගලික ඉඩමක් සම්බන්ධයෙන් පැවැති ගැටලුව අද (11) දිනයේ විසඳුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ අදාළ පෞද්ගලික ඉඩමේ හිමිකාරීත්වය දරණ ආටිගල පවුලේ සාමාජිකයින් කිසිඳු මුදලක් අය කිරීමකින් තොරව ඊට අවසරය ලබාදුන් බවය.

මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත්වීමෙන් අද පැවැති සමථ මණ්ඩලයේදී මෙම අවසරය ලැබී තිබේ.

ඒ අනුව තවත් දින 06ක් ඇතුළත අදාළ සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධ කර දකුණු පළාතට විදුලිය ලබාදීම වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බව රොහාන් සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය.

“අද සමථ මණ්ඩලය රැස්වුණා. පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ පෞද්ගලික ඉඩම සම්බන්ධයෙන් ගැටලුව අද විසඳුනා.”

“ඒ ඉඩම් අයිතිකරුවන් වන ආටිගල පවුලේ සාමාජිකයින් කිසිඳු ගාස්තුවක් අය නොකර අවශ්‍ය ඉදිකිරීම් කටයුත්ත සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අද අවසරය දුන්නා.”

“ඒ අයට අයිති ඒ තේ වත්ත හරහා සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධ කරන්න අපිට දැන් හැකියාව තිබෙනවා.”

“මෙය රජය වෙනුවෙන් සහ දකුණු පළාතේ ජනතාව වෙනුවෙන් කිසිඳු මුදලක් අය කිරීමකින් තොරව සිදුකරන්න ආටිගල පවුලේ සාමාජිකයින් අවසරය ලබාදුන්නා. ඒක අපි හැමෝම අගය කරන්න ඕන ක්‍රියාවක්. මොකද ඒක ඒ අයගේ පුද්ගලික ඉඩමක් හරහා යන සම්ප්‍රේෂණ මාර්ගයක්.”

“අපි හෙට මෙහි වැඩ පටන් ගන්නවා. මීටර් 700ක ඉදිකිරීම් කරන්න තියෙන්නේ. දින 06ක් ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

“දකුණු පළාතට වෝල්ටීයතාවය 220,000ක් වන කිලෝමීටර් 150ක සම්ප්‍රේෂණ පද්ධතියක් තමයි මේ ලැබෙන්නේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උත්පල ආටිගල මහතා,

“පොදු මහජනතාවට සේවාවක් සැලසීමේදී එයට බාධකයක් ඇති වන්නේ නම්.. ඒ ආටිගල පරපුර කියලා කියනවා නම්.. ඒකට බාධකයක් නොවිය යුතුයි කියලා අපි තීරණය කළා.”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *