Thu. Sep 19th, 2024

ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත පවරාදීම මේවනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එල්ල කරන්නේ දැඩි චෝදනාවකි.

ඒ ලබන 19 වැනිදා සිට තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉන්දිය මහමැතිවරණය ආරම්භ වීමට නියමිත පසුබිමකයි.

ඉතිහාසයේ සිට අයිතිය සම්බන්ධයෙන් විවිධ මතවාද පැවැති කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ, 1974 වසරේදීයි.

ඒ එවක ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක අතර අත්සන් තැබුණු ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙනුයි.

ශ්‍රී ලංකාවට අයත් දූපත් සමූහය අතරින් වඩාත්ම දුරින් පිහිටි මෙම දූපත, රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව පිහිටා තිබෙනවා.

කච්චතිව් දූපතේ අයිතිය ගිවිසුමකින් ලංකාවට හිමිවුවත්, වසර ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පක්ෂ මේ දූපත ගැන විවිධ ස්ථාවරවල පසුවනවා.

තමිල්නාඩුවෙන් ලබන 19 වැනිදා ආරම්භවන මහ මැතිවරණයත් සමග මෙම දූපත ඉන්දීය දේශපාලන වේදිකාවේ මාතෘකාව බවට පත්ව අවසන්.

ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ නායක කේ.අන්නමලෙයි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා සිටීමත් සමගයි.

එක්ස් පණිවිඩයක් තබමින් අගමැති නරේන්ද්‍ර මෝදි පවසන්නේ, 1974දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයට පත්ව ඇති බව සහ කොංග්‍රස් පක්ෂය පිළිබඳව විශ්වාසය බිඳවැටී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අගමැති මෝදි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති දේශපාලන රැළියකදී ද කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *