Thu. Sep 19th, 2024

ඉදිරි උත්සව සමයේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා එළවළුවල මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබෙන බවත්, මෙලෙස මිල අඩු කිරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් සකස් කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

මෙරට පළමු වරට සහල් සබලකරණය කර (Fortifield Rice) (යකඩ සියයට එකක් සහ ෆෝලික් අම්ලය එකතු කරන ලද සහල්) පාසල් ළමුන් ලක්ෂ පහකට දිවා ආහාරය සඳහා කොළඹ රාමඩා හෝටලයේදී ඊයේ (01) පැවැති සමාරම්භක වැඩසටහනේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ලෝක ආහාර සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය අබ්දුල් රහීම් සිද්දකී ඇතුළු පිරිසක් සහභාගි විය.

පහ ශ්‍රේණියෙන් පහළ ළමුන්ගේ මන්දපෝෂණය සහ රක්තහීනතාවය වැළැක්වීම සඳහා මෙම සහල් ලබාදේ. එක් සිසුවෙකුට දිවා ආහාරය සඳහා මෙම සහල් ග්‍රෑම් 75 බැගින් පාසල් ළමුන් ලක්ෂ පහකට දිනකට සහල් මෙට්‍රික් ටොන් 04 බැගින් සැපයේ. මෙම වැඩසටහන ලෝක ආහාර සංවිධානයේ අනුග්‍රහය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

සබලකරණය කරන ලද සහල් මීට පෙරදී විදෙස් රටවලින් ආනයනය කළ අතර, එම සහල් මෙරට පළමු වරට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ කලංකුට්ටිය කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරේ.

රටේ උද්ධමන වේගය නැවත ඉහළ ගොස් තිබෙන බවත්, එය ඉදිරියේදී පාලනය කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවද කෘෂිකර්ම ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඉකුත් වසරේ (2023) දත්ත වලට අනුව මෙරට පාසල් ළමුන්ගෙන් සියයට 15.3 ක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බවත්, එමෙන්ම පාසල් ළමුන් සියයට 7.4 ක ප්‍රමාණයක් අධි පෝෂණයෙන් පෙළෙන බවද ඇමැතිවරයා කීවේය.

දෙමාපියන්ගේ ආර්ථික ගැටලු හා දරුවන්ගේ අවිවේකිත්වය නිසා දරුවන්ගේ පෝෂණ ගැටලු ඇතිවී තිබෙන බවද ඇමැතිවරයා පැවසීය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *