Sat. May 18th, 2024

මුලතිව් මල්ලාවි වැවේ මසුන් ලක්ෂ ගණනක් දැඩි අව් රශ්මිය නිසා මියගොස් ඇති අතර බොහෝ දෙනකු එම මසුන් එකතු කොට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.

මල්ලාවි වැසියෝ මියගිය මසුන් එකතු කොට ගොඩවල් ගසා එම මසුන් ගොඩවල් ඉතා අඩු මිලකට අලෙවි කිරීමට පටන් ගෙන ඇති නිසා වහාම පොලිසියට ඒ සම්බන්ධයෙන් මැදිහත් වී මසුන් අලෙවි කිරීමට ඉඩ නොදිය යුතු බව සෞඛ්‍ය බලධාරීහු කියති.

ඒ අනුව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මල්ලාවි වැවේ මාළු අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

මුලතිව් සෞඛ්‍ය බලධාරීන් මල්ලාවි වැවට ගොස් මසුන් මියයෑම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහි පළමු පියවර වශයෙන් සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරනු ලබන්නේ අධික අව් රශ්මිය නිසා මසුන් මේ අන්දමට මියගොස් සිටින බවයි.

මියගිය මසුන්ගේ සාම්පල ලබා ගෙන එම සාම්පල යාපනය විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා ඒකකය වෙත යවා ස්ථිර වශයෙන් නිගමනයක් ලැබෙන තුරු මල්ලාවි වැවේ මසුන් අනුභව කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මුලතිව් ගොවි සංවිධාන නියෝජිතයන් කියා සිටින්නේ ධීවර ව්‍යාප්ති නිලධාරීන් වැව්වල පවතින ජල මට්ටම ගැන තැකීමක් නොකොට මත්ස්‍ය පටව් ලක්ෂ ගණනින් වැව්වලට මුදා හැරීම නිසා මසුන් මියයන විට ලක්ෂ ගණනක් මියයන බවයි.

කෙසේ වෙතත් මසුන් මිය යෑම නිසා මල්ලාවි වැව අවට මුළු ප්‍රදේශය පුරාම දැඩි දුගඳක් හමන්නට පටන් ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *