Sat. May 18th, 2024

නොවැම්බර් මාසය සහ දෙසැම්බර් මාසයේ ගත වූ දිනවලදී කොවිඩ් ආසාදිත මරණ හතරක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ආසන්නතම මරණය පසුගිය 23 වැනිදා මහනුවර ජාතික රෝහලෙන් වාර්තාවිය. කොවිඩ් ආසාදිතව හැටපස් හැවිරිදි පුද්ගලයකු මෙලෙස මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා ෂිරෝසිස් රෝග තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතව තිබෙන බවත් මරණය සිදුව තිබෙන්නේ එම රෝග තත්ත්වය නිසා බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පැවසුවාය.

ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මියගිය පසු පී.සී.ආර්, පරීක්ෂණයක් කර තිබෙන අතර එහිදී ඔහුට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙන බව හෙළිව ඇත.

මියගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ඔහුගේ ඥාතීන්ට ද රෝහල මගින් දැනුම් දී තිබේ. මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගල මළසිරුරුවල අවසන් කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය පෙර ලබා දී තිබූ නිර්නායක ක්‍රියාත්මක නොවන බැවින් මළසිරුර සාමාන්‍ය මළසිරුරක් භාරදෙන ආකාරයෙන් ඥාතින්ට භාර දීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

මෘත දේහය නිවසේ තැන්පත් කොට තිබෙන කාලසීමාවේ සෞඛ්‍ය නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙස මහනුවර ජාතික රෝහලෙන් මිය ගිය පුද්ගලයාගේ ඥාතින් දැනුවත් කොට ඇත.

එසේම සතියකට කොවිඩ් රෝගීන් හය දෙනකු පමණ වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

නොවැම්බර් මස මුල් සතියේ කොවිඩ් රෝගීන් හයදෙනකු වාර්තා වී ඇති අතර දෙවැනි සතිය වන විට කොවිඩ් රෝගීන් එකොළොස්දෙනකු දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව නොවැම්බර් මාසය තුළ පමණක් කොවිඩ් රෝගීන් විසිතුන්දෙනකු වාර්තා වී තිබේ.

එමෙන්ම නොවැම්බර් මස තුන්වැනි සතිය වන විට තවත් කොවිඩ් රෝගීන් දෙදෙනකු මරණයට පත්ව ඇත.

මේ වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 16888 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හයලක්ෂ හැත්තෑ දෙදහස ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශ දත්ත වාර්තා පවසයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *