Thu. May 2nd, 2024

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී විදුලි බිල අඩු කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ වන විට එම අඩු කරන ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැතත් සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකිවේ යැයි දැනට තීරණය කර ඇති බව මණ්ඩලයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙම ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරන බවය. බොහෝ දුරට සියයට නවයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමට හැකියාව ඇති බව ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ප්‍රධානින් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විදුලි වෘත්තීය සමිති නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ [ 10 ] විදුලි බල මණ්ඩලයේදී පැවැත්විණ.

එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර මේ සඳහා පැමිණි පාර්ශ්වයන් යෝජනා කර ඇත්තේ ජනතාවට දැනෙන ආකාරයේ විදුලි ගාස්තු අඩුවීමක් අවශ්‍ය බවය. එහිදී විදුලි බල මණ්ඩලය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා සිදුකිරීමට අවශ්‍ය බවත් ඉන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමේ ස්ථිර ප්‍රතිශතය පවසන බවය.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඊයේ [ 10 ] සවස් කාලය වන විටත් මහජන උපයෝගීතා කොමිසමට ලැබී නොමැති බව එම කොමිසම කියා සිටියි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *