Sun. May 5th, 2024

මේ දවස්වල වෙනදාට වැඩියෙන් කාර්යබහුල වෙලා තියෙන්නේ අලුත් ආදර කතාව නිසාද?

ඒකත් එක හේතුවක් තමයි. මේ දවස්වල අලුත් ආදර කතාවේ ප්‍රචාරණ කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරතුර මගේ ව්‍යාපාර කටයුතුත් කරනවා. මොකද මම කලා කටයුතුවල නිරත වෙන්නේ ව්‍යාපාර කටයුතු කරන අතරතුරමයි. සමහර වෙලාවට ඒ වැඩකටයුතු වලට විදේශගත වෙන්නත් සිදු වෙනවා. රංගන කටයුතු වගේම ව්‍යාපාර කටයුතු සමබරව කරගෙන යන්නයි මම උත්සාහ කරන්නේ. මේ අතරතුර බාර ගත්ත නිර්මාණ කිහිපයකම රූගත කිරීම් වලටත් සම්බන්ධ වෙනවා. මේ හැමදේම නිසා කාර්යබහුල කාලයක් තමයි මේ ගත කරන්නේ.

මොකක්ද ඔය කියන අලුත් ආදර කතාව?

1970 love story චිත්‍රපටය තමයි අලුත්ම ආදර කතාව. දැන් ඒ ආදර කතාවේ ආදරය විඳගන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. 1970 love story රසවිඳින්න එකතු වෙන්න කියලා මම ප්‍රේක්ෂකයන්ට ආදරයෙන් ආරාධනා කරනවා.

1970 love story එළියට ආවේ අවුරුදු පහ හයකට පස්සේ නේද?

කොවිඩ් සහ මේ රටේ ඇතිවුණු ආර්ථික අර්බුදය වගේ හේතු නිසා ෆිල්ම් එක එන්න කාලයක් ගත වුණා. හැබැයි අවුරුදු ගාණකට පස්සේ හරි මේ විදිහට ෆිල්ම් එක එළිදැක්වීම සතුටක්.

1970 love story කියන්නේ ගම්‍යාට අමතක නොවෙන මතකයක්. මම හරිද ?

ඔව්. ලංකාවේදී මට ලැබුණු පළමුවෙනි සිනමා රංගන අවස්ථාව තමයි 1970 love story කියන්නේ. ඒක අමතක නොවෙනම මතකයක්. මේ ෆිල්ම් එක මගේ සිනමා රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්.

ගම්‍යා මීට කලින් විදේශ චිත්‍රපටවල රඟපාලා තියෙනවා නේද?

මම ලංකාවේ සිනමාවට එන්න කලින් ඉන්දියාවේ ෆිල්ම් තුනක රඟපාලා තියෙනවා. දේශීය සහ විදේශීය වශයෙන් ගත්තොත් ෆිල්ම් හය හතකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යයවලත් රඟපාලා තියෙනවා.

මුලින්ම රිදී තිරයෙන් ගම්‍යාව ප්‍රේක්ෂකයන්ට මුණගැහුණේ යූ ටර්න් චිත්‍රපටය නිසා නේද?

ලංකාවේදී මම මුලින්ම රඟපෑවේ 1970 love story ෆිල්ම් එකේ වුණාට ඒක අවුට් වෙන්න කාලයක් ගියානේ. ඒ අතරතුර මම රංගනයෙන් දායක වුණු යූ ටර්න් ෆිල්ම් එක අවුට් වුණා. ඒ නිසා 1970 love story වගේම යූ ටර්න් කියන්නෙත් මට අමතක නොවෙන මතකයක්.

1970 love story ෆිල්ම් එකේ ගම්‍යාගේ චරිතය ගැනත් කතා කරමු?

රෝසි තමයි චරිතයේ නම. රෝසි කියන්නේ පැතිකඩ තුනක් තියෙන චරිතයක්. රෝසි කියන්නේ සිනමා නිළියක්. සිනමා නිර්මාණයක් ඇතුළේ සිනමා රංගන ශිල්පිනියකගේම චරිතයක් ලැබීමත් විශේෂත්වයක්. පැතිකඩ තුනක් නිසා මට ඒ චරිතය යම්කිසි ආකාරයකින් අභියෝගයක් වුණා. හැබැයි ඒ චරිතය තුළ රංගන ශිල්පිනියක් හැටියට මට කරන්න වැඩ කොටසක් තිබුණා. සිංහල සිනමා නිර්මාණයක මට ලැබුණු පළමුවෙනි චරිතයම වෙනස් විදියේ චරිතයක් වීම ගැන සතුටුයි.

1970 love story කියන්නේ ආදරය වගේ ත්‍රාසය භීතිය කැටි වුණු කතාවක්නේ. රූගත කිරීම් කළෙත් හොල්මන් තියෙන බංගලාවක කියන්නේ ඇත්තද?

එහෙම කතා බහක් නම් තිබුණා තමයි. ඇත්තටම රූගත කිරීම් අතරතුර ඒ බංගලාවේම නතර වෙන්න වුණු අවස්ථාත් තිබුණා. ඒ බංගලාවේ හොල්මන් තියෙනවා කියලා අපිට කණින් කොණින් ආරංචි වෙලා තිබුණේ. ඒ නිසා කණ්ඩායමේ සමහර අය අපිව විහිළුවට බය කරපු අවස්ථාත් තිබුණා. මුළු කණ්ඩායමටම හොල්මන් සම්බන්ධයෙන් හිතේ පොඩි තිගැස්මක් තිබුණා තමයි. හැබැයි පුද්ගලිකව මට එහෙම සිදුවීමක් අත් විඳින්න වුණේ නැහැ.

මේ දවස්වල ගම්‍යා ආදර කතාවකට වගේම ඉතිහාස කතාවකටත් රංගනයෙන් දායක වෙනවනේ. කොහොමද චණ්ඩි කුමාරිහාමි ටෙලි නාට්‍යයේ හීං මැණිකේට ලැබෙන ප්‍රතිචාර ?

ඇත්තටම චණ්ඩි කුමාරිහාමි ටෙලි නාට්‍යයේ හීං මැණිකේ කියන්නේ මට ලැබුණු අනපේක්ෂිත චරිතයක්. හීංමැණිකේ වගේ චරිතයකින් මාව මුණගැසීම ප්‍රේක්ෂකයන්ටත් අනපේක්ෂිතයි කියලා මම හිතනවා. කොහිම වුණත් හීං මැණිකේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

හීංමැණිකේ අනපේක්ෂිත චරිතයක් කියන්නේ ඇයි?

මම හැදී වැඩුණේ වැඩිපුරම කාලය ගත කළේ ඔස්ට්‍රේලියාවේ. ඒ වගේම මිස් ශ්‍රී ලංකා වැනි පැජන්ට්වල මම හිටියා. නිරූපණ ක්ෂේත්‍රයෙන් ප්‍රේක්ෂකයන් හමුවට ගියා. එහිදී ප්‍රේක්ෂකයන් ගම්‍යාව හඳුනාගත්තේ වෙනම විදිහකට. ඒ කිසිම ලක්ෂණයක් හීංමැණිකේ කියන චරිතය තුළ නෑ. ඒක වෙනස්ම විදිහේ ගති ලක්ෂණ තියෙන මේ තරම් කාලයක් ප්‍රේක්ෂකයන් මගෙන් නොදැකපු චරිතයක්.

ඒ කියන්නේ ගම්‍යාට හීංමැණිකේ අභියෝගයක් වුණා කියන එකද?

චණ්ඩි කුමාරිහාමි ටෙලිනාට්‍ය තුළ හීංමැණිකේ චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කළා. රංගන ශිල්පිනියක් හැටියට මට හීංමැණිකේ වගේ චරිතයක් ලැබීමත් සතුටක්. මේ තරම් කාලෙකට මට ඒ වගේ චරිතයක් ලැබිලා නැහැ. බාහිරින් පෙනෙන දේ තුළම හිර වෙන්නේ නැතිව නිර්මාණකරුවන් අපේ පෙනුමට වගේම දක්ෂතාවන්ට ඉඩක් දුන්නත් තමයි මේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නේ.

ගම්‍යාගේ කලා ගමන ආරම්භ වුණේ කොහොමද ?

Miss sri lanka for miss world තරගය හරහා තමයි මම ලංකාවේ කලාවට සම්බන්ධ වුණේ. නමුත් ඊට කලිනුත් මම කලාවත් සමග එකතු වෙලා හිටියා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන කාලේ බොහෝ නිර්මාණවලට සහ ප්‍රසංගවලට නර්තනයෙන් දායක වුණා. මොකද මම අවුරුදු හතරේ ඉඳලම නර්තනය හැදෑරුව කෙනෙක්. ඊට අමතරව අවුරුදු හය හතක් ගුවන් විදුලි නිවේදන ශිල්පිනියක් හැටියටත් කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ Miss sri lanka තරගය හරහා ලංකාවේ කලාවටත් එකතු වුණා. ඉන්දියාවේ අවුරුදු හයක් වැඩ කළා. ඒ තුළිනුත් බොහෝ අත්දැකීම් ලබාගෙනයි මම ලංකාවේදී මගේ කලා ගමන ආරම්භ කළේ.

දැන් විදේශ නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

තවමත් ඔස්ට්‍රේලියාව වෙළඳ දැන්වීම්වලට සහ විවිධ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. දිගින් දිගටම ආරාධනා ලැබුණත් ලංකාවේ ඉන්න නිසා දීර්ඝ කාලීනව ඔස්ට්‍රේලියාවේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීමේ ‍යම් අපහසුවක් තියෙනවා. ඉන්දියාවෙනුත් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඉදිරියේදී ඒ වැඩ කටයුතු වලටත් සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ කියන්නේ ගම්‍යා නැවතත් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන්ද ඉන්නේ?

කොහොමත් මම සාමාන්‍යයෙන් කලා කටයුතු වෙනුවෙන් වගේම මගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නිතර නිතර විදේශගත වෙනවා. සමහර වෙලාවට දින කිහිපයක් ඒ රටවල්වල ගත කරනවා. නිතර නිතර විදේශගත වෙමින් ලංකාවට එමින් තමයි කලා කටයුතු වගේම ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ.

රංගන කටයුතු නිසා ගම්‍යා නිවේදන කටයුතුවලින් සමු අරන්ද?

අදටත් මම නිවේදන කටයුතු කරනවා. පහුගිය දවසක දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේදීත් නාරද බක්මීවැව සමග නිවේදන කටයුතු කළා. නිවේදනය කියන්නේ මම ගොඩක් කැමැත්තෙන් කරන දෙයක්. ඇත්තටම නිවේදන අංශයෙන් මට ලොකු ඉල්ලුමක් තියෙනවා.

ගම්‍යාට භාෂා කීයක් කතා කරන්න පුළුවන් ද?

මට භාෂා හතරක් කතා කරන්න වගේම ලියන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි සහ හින්දි කියන භාෂා තුනම හොඳින් හසුරවන්න පුළුවන්. ඒ වගේම දෙමළ භාෂාවත් කතා කරන්න සහ ලියන්න පුළුවන්. මගේ නිවේදන කටයුතුවලට ඒ හැකියාවත් ලොකු ශක්තියක්.

ආදරවන්තයින්ගේ මාසයේ ආදරණීය කතාවක් එක්ක ප්‍රේක්ෂකයන් හමුවට එන ගම්‍යාට ආදරය ගැන මොකද හිතෙන්නේ ?

ආදරය කියන්නේ නිර්වචනය කරන්න අමාරු මාතෘකාවක්. එකිනෙකාට ආදරය දැනෙන සහ එකිනෙකා ආදරය කරන විදිහ වෙනස්. ඒ නිසා ආදරය කියන්නේ ඉතාමත් පෞද්ගලික දෙයක් කියලයි මම නම් හිතන්නේ. කොහොම වුණත් ලෝකයේ පැවැත්මට වගේම ලෝකය සහ ජීවිතය හරවත් වීමට වැදගත් වන ප්‍රධානම සාධකයක් ආදරය හඳුන්වාදීම වරදක් නැහැ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *