Fri. May 3rd, 2024

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රුපියල් ලක්ෂ පහකට අධික අවම ආරම්භක මාසික දළ වැටුපක් හිමිවන නව තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසනවා.

මෙසේ අයදුම්පත් කැඳවා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමේදී පාර්ලිමේන්තුවට සහාය වීම සඳහා 2023 අංක 06 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනතට අනුව පිහිටුවා ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පුරප්පාඩුව පවතින “පාර්ලිමේන්තු අයවැය නිලධරයා” සහ “නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධරයා ” යන නව තනතුරු දෙක සඳහායි.

මෙයින් පාර්ලිමේන්තු අයවැය නිලධරයා සඳහා අතිරේක දීමනා සහිතව රුපියල් 6,65 000 (හය ලක්ෂ හැටපන් දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධරයාට එලෙසම රුපියල් 5,60,000 (පන් ලක්ෂ හැට දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද හිමිවන බව මෙම පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අයදුම්පත් කැඳවූ නිවේදනයේ සඳහන්.

දක්ෂ ,අවංක,උසස් සදාචාරාත්මක ගුණයෙන් යුත් කීර්තිනාමයක් සහිත වයස අවුරුදු 65 ඉක්මනොවූ ,රජයේ අයවැයකරණය ,මූල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති හෝ සාර්ව ආර්ථික විශ්ලේෂණය පිළිබඳ පළපුරුද්දක් සහිත ශ්‍රි ලාංකික පුරවැසියන්ට ඉදිරි මැයි මස 06 දා දක්වා මෙම තනතුරු දෙක සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද එම නිවේදනයේ දැක්වෙන්නේ.

වසර පහක නිල කාලයක් සහිත මෙම තනතුරු දෙක සඳහා තෝරාගත් සුදුස්සන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *