Sun. May 19th, 2024

යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පසුගියදා ඝාතනය වු 38 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එම කාන්තාවගේ 16 හැවිරිදි පුත්‍රයා සම්බන්ධයෙන් සැකය එල්ල වී ඇති බව යාපනය, තෙලිප්පලෙයි පොලිසිය පවසයි.

ජංගම දුරකථනය වෙත දැඩිව ඇබ්බැහි වී ඇති මෙම දරුවා මවගේ ඝාතනය සිදුකළේද යන්න සොයා පරීක්ෂණ පවත්වන පොලිසිය පැවසූවේය.

සැකකරු දුරකථනයට ඇබ්බැහිවීම මත කිසියම් මානසික අසහනකාරි තත්ත්වයකට ලක්ව ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට මානසික වෛද්‍යවරයකු වෙත යොමුකොට ඇති බවද පොලිසිය පැවසීය.

මවගේ මළ සිරුර පැවති කාමරයේ දරුවා රුධිරයෙන් යම් වැකි කිහිපයක් ලියා ඇති බව දැක ගැනීමට හැකි වන බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

අධික ලෙස ජංගම දුරකථනයට ඇබ්බැහි වූ දරුවාගෙන් මව දුරකථනය උදුරා ගැනීමෙන් අනතුරුව දරුවා මව ඝාතනය කළ බවට ආරංචියක් පවතින බව ප්‍රදේශවාසීන් පැවසූවේය.

මවගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මත වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව තෙලිප්පලෙයි පොලිසිය පැවසිය.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් බැහැර අවස්ථාවන්හිදී දරුවන්ට ජංගම දුරකථන හරහා වීඩියෝ ක්‍රීඩා කිරීම සීමා කිරීමට දෙමාපියන් වගබලාගත යුතු බවත්, ඒ හරහා දරුවන්ගේ මානසික තත්ත්වය නිරවුල්ව පවත්වාගෙන යා හැකි බවත් යාපනය, තෙලිප්පලෙයි රෝහල් මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරු පැවසූහ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *